Wednesday 12 November 2008

අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්

අපේ මුණුපුරාගේ කවියක් දෙකක් ඊතලය කියල අන්තර්ජාල පුවත්පතක පළවෙලා කියල අද එයාගේ නැන්දට පෙන්නවා දුටුවිට මගේ නිණව්වට ආවේ ඒ කාලේ පළවූ පත්තර ගැන. ලංකාවේ පළමු පුවත්පත 'කළම්ඹු ජ(ර්)නල්' කියල ඉංග්‍රීසි පත්තරයක්. එය පළවී ඇත්තේ 1832 දී. පසුව 1834 දී 'ද ඔබ්සවර් ඇන්ඩ් කොමෂල් ඇඩ්වයිසර්' වී තිබෙනවා. අදත් පළවන 'ඔබ්සවර්' පත්තරේ එය විය යුතුයි. පළමු පුවත්පත එය වුණාට 1796 දී ලංකාවේ තැපැල් සේවය ආරම්භ වුණේ ගැසට් පත්‍රය බෙදා හැරීමට බැවින් ලංකාවේ මුද්‍රණ කටයුතු 1790 ගනන්වලම පටන් ගෙන තිබිය යුතුයි.
කෙසේ වුවත් පළමු සිංහල පුවත්පත 'ලංකා ලෝක'. 1860 ගාල්ලේ මුද්‍රණය කරල තියෙන්නේ. එය බොහොම සීමිත මුද්‍රණයක් වෙන්න ඇති. ඒ නිසා විය යුතුයි බොහෝ සටහන්වල ලංකාවේ පළමු සිංහල පුවත්පත ලෙස 1862 කොළඹදී මුද්‍රණය කළ 'ලක්මිණි පහන' පත්තරය සඳහන් වන්නේ. පළමු දෙමළ පුවත්පත 'උදය තාරකායි'.

1948 න් පසුව පත්තර කලාව දියුණු වුණා. ලේකහවුස්, ටයිම්ස් වගේ ආයතන ඇරෙන්න තවත් සංවිධාන වලින් පුවත්පත් රාශියක් පළකළා. ඒ එක පුවත් පතක පළවූ කවියක් මගේ නිණව්වෙන් මැකී ගිහින් නෑ තවමත්.

"ජාතිකාලය, ආගමාලය හඳුන්වන කොඩි දෙකම දෑතින්
දරා සිරිලක් මෑණියැන්දෑ ඔකඳවන සැටි බලව් යාතින්
අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්
සිටින සැටි අර බලව් කේසර සිංහයා ලක් මවට පාතින්."

මේ කවියට උඩින් ලංකාවේ සිතියමත්, සිංහ කොඩිය හා බෞද්ධ කොඩියත් දෑතින් ගත් යුවතියකගේ රූපයකුත් පළවී තිබුණා. ඒත් මට හරියටම නිණව් නෑ ඒ පත්තරේ නම!. සමහර විට 'සිංහල ජාතිය' විය යුතුයි.
ඔන්න මටත් පොඩි උදව්වක් කරන්න. මෙය කියවන මා වැනි වැඩිහිටියකුට නිණව් තිබේනම් හෝ, නැතිනම් මෙය කියවන දරුවෙකුගේ වැඩිහිටියෙකුට නිණව් තිබේනම් මෙය පළ වූයේ කුමන පුවත් පතේද? පළවූ දිනය කවදාද? ආදී විස්තර සපයන්නනේනම් පිං!

No comments: