Tuesday 28 October 2008

පාසල් නොගියොත් නඩු

අද ළමයෙක් පාසලකට දාගන්න දඟළන දැඟළිල්ල දැක්කහම හිතෙනවා 'දෙමාපියන් මේ විදිහට ලමයින්ට උගන්නන්න වෙහෙසෙන තරමට අනාගතයේ රටේ සාක්ෂරතාවය 100% පැනල යයි'ද කියල.
මම පාසල් ගිය කාලේ, ඒ කියන්නේ 1930 ගනන්වල තිබුනේ මෙහි අනිත් පැත්ත. එදා වයස 14 වෙනකම් ඒ කියන්නෙ 5 පාස් වෙනතුරු, පාසල් යාම අනිවාර්යයි. (අදත් ලේසියෙන් පාසලක් නුදුන්නට අනිවාර්යයිනේ. කීයට යනකම්ද දන්නවද? දන්න අය කියන්නකො) 'නඩු දාන මහත්තයා' නැත්නම් 'ඇටෙන්ඩන් මහත්තයා' එනවා පාසලට. ඇවිත් නියම වයසට පෙර පාසල් හැරගිය අයගේ විස්තර අරගෙන ගිහින් භාරකරුවන්ට නඩු දානවා. පාසලේ ලොකු මහත්තයටත් වගකීමක් තිබුණා ලමයි පාසට පැමිණීම සම්බන්ධව. ඒ නිසා සෑම විදුහල්පති කෙනෙක්ම පාහේ, යම් ලමයෙකු පාසල් ඒම නතර කළොත් ගෙදරට හොයාගෙන ගිහින් හරි නැවත ගෙන්න ගන්නවා.
පාසල් ගමන ගැන කියූ නිසා තව දෙයක් කියල නවත්වන්නම්.
ඒ කාලේ (1930 පමණ) පාසලට ඇන්දේ දිග ගවුමක්. ගෑණු පිරිමි හැමෝම. හැබැයි පිරිමි ඇන්දහම ඒකට කමිසය කිව්ව. දෙකම එක වගේ. රෙද්දක් දෙකට නමල දෙපැත්තෙන් මැහුම් ගහල, (අපිට මැෂින් තිබුනේ නෑ) කර කපලා, අත් දෙකට කපල. හරි සරලයි. දණහිස් වැහෙන්න දිගයි. ඒ පොඩි ලමයි. ලොකු වෙනකොට පිරිමි ලමයි සරමක් ඇන්ඳ. බැනියමක් තිබුනේ ඉඳලම කෙනෙක්ට. ගැහැණු ලමයි රෙද්දයි හැට්ටෙයි. පොඩි කාලේ ඉඳන්ම ගැහැණු පිරිමි බේදයක් නැතුව අතේ රිදී වලල්ලක් පැළඳුවා.

9 comments:

ශාකුන්තල | Shaakunthala said...

ඔබතුමාගේ සටහන් ඉතාම අගෙයි. මීළඟ සටහන එනතුරු මම නොඉවසිල්ලෙන්.

Anonymous said...

ඔබතුමා ගේ අත් දැකීම් මීට කලින් පල කරල තිබෙනවද?

Anonymous said...

ඔබගේ අත්දැකීම් කියවන්නේ ඉතාම ආශාවෙන්. සමහර දේවල් මටත් යාන්තම් මතකයි. නවීන පෙලපතට දැන්ගන්නත් එක්ක ඔබේ අත්දැකීම් තව තව ලියන්න.

Aravinda said...

""දශක අටක් ගෙවා ජීවිතයේ සොඳුරුම යුගයේ සිටින්නෙමි""

හරි ලස්සන කතාවක්

මම said...

ශාකුන්තල, ස්තුතියි පුතා!

මම said...

නිදහස් අදහස්, මීට ප්‍රථම මම කිසිම මාධ්‍යයකින් මාගේ අත්දැකීම් පලකරල නොමැත.

මම said...

සරත් ගුනතුංග, මම ඉතා ආසාවෙන් ඔබේ සටහන් කියෙව්වා. අපි අපේ අත්දැකීම් බෙදාගත යුතුයි.

මම said...

අරවින්ද, ස්තුතියි.
අත්තටම මාගේ ජීවිතයේ සැහැල්ලුම කාලයයි මේ. මාගේ තරුණ කාලයේත්, වැඩිහිටි කාලයේත් මට නොයෙක් දේ හිමිවූවා සේම අහිමි විය. ඒ සෑම අවස්ථාවකදීම මාගේ ජීවිතයට යම් බරක් එක් විය. එහෙත් මාගේ මහළු කාලයේ මාගේ සියල්ල දැන් මා මාගේ සමාජයට දී අවසානය. ඒ නිසා මට දැන් අහිමි වන්නට කිසිත් නැත. එබැවින් මම සැහැල්ලුවෙන් ජීවත් වෙමි.

නිලන්ත පියසිරි said...

ඇත්තෙන්ම මමත් ඔබ තුමාගේ සටහන් බලන්න කැමත්තෙමි. කොහොමත් අතීතයේ යමක් සිදු වූ ආකාරය අසන්නට අමුතුම කැමැත්තක් මා තුල තිබේ. එය අතීතකාමය දැයි මම නොදනිමි. අපේ අත්තා, කිරි අම්මා සමඟද මෙලෙස අතීතයේ දේවල් සිදු වූ අයුරු විමසමි. තව දුරටත් ලියා අපව දැනුවත් කරන්න, ඔබට පින්.