Sunday, 26 October 2008

වැල්වටාරම්

නිණව් නැතුව යන වයසේ පසුවන මාගේ මතකයන් ගොනු කරන මෙම සටහන් පෙළ බොහෝ විට වැල්වටාරමක් වනු ඇත. එකිනෙකට එක පිළිවෙලට සිදුවීම් කිසිවක් දැන් මාගේ නිණව්වේ නොමැත. එබැවින් මතක්වන මතක්වන දේ මතක්වන වේලාවට සටහන් කරමි.
මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා අදවන විට ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළුව ලංකාවේ ප්‍රදේශ රාශියක් ගංවතුරෙන් යටවී ඇති බවට තොරතුරු වාර්තා වේ. 1930 ගනන්වල ගැලූ මහා ගංවතුරකින් අපේ ගමේ ප්‍රදේශ රාශියක් යටවිය. දැන් ඉතා විරල වුවද ඒ දිනවල හීලෑ ඇත්තු ලංකාව පුරාම යමක් කමක් තිබෙන පුද්ගලයින් සතුව සිටියහ. අපේ ගමේ විසූ 'මිණින්දෝරු මහප්පාගේ ඇතින්න', 'කිරියා' ඇත්ගොව්වාගෙන් මිදී මෙම ගංවතුරට පැන ඉතා වේගයෙන් ඈතට පීනන්න පටන් ගත්තේය. මෙය දුටු මිණින්දෝරු මහප්පා 'කිරියෝ මෙන්න මට ගහනවෝ' කියා කෑසනවිට ආපසු හැරුණු ඇතින්න ඉතා වේගයෙන් පීනාගෙන ආ ආකාරය මට අදටත් අමතක නොවේ. ඇසිපිය ගසන ක්ෂණයෙන් මිණින්දෝරු මහප්පා වෙත පැමිණි ඇතින්න ඔහුව හොඬින් ගෙන පිටේ තබා ගත්තේය.
1947 දී ඊටත් වඩා ගංවතුරකින්, කිසිදා යට නොවූ ප්‍රදේශ (මෙ වන තුරුත් යට නොවූ) රාශියක් යටවී ගියේය.
වැස්ස තුරල්වන තුරු මෝටර් සයිකලයට ගොඩවී බලා සිටින පුත්‍රයා දකිද්දී අප පළමුවෙන්ම දුටු මෝටර් සයිකලය මගේ නිණව්වට ආවේය.
ඒත් 1930 ගනන්වලය. අදමෙන් වාහන ගමනාගමනයක් නොතිබුණු ඒ දවස්වල ඉතා ඈත එම මෝටර් සයිකලය එනවිට හොඳන් හඳුනාගත හැකිය. ඒ හඬ ඇසෙන විට අමේ අම්මලා කියන්නේ "අන්න කුණු ඉනිස්පැට්ටර් එනවා" කියාය. "සැන්ඩිපෝට් මහත්තයා" ලෙස හැඳින් වූ මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (අද භාවිත නාමය) නිරතුරු පැමිණ නිවාස අවට පිරිසිදුතාව පිළබඳව සොයා බැලුවේය. මඩපුවක් මුට්ටි ආදිය දුටුවහොත් ඒවාට බස්තමෙන් ඇන ඒවා සිදුරු කර දැම්මේ මදුරුවන් බෝවන ස්ථානයක් බැවිනි. නිවසේ භාවිතයට වැසිකිලියක් නොමැති වුවහොත් ගම්සභා උසාවියේ නඩු දමන ලදී.

7 comments:

චලනි විජේසේකර said...

බොහෝම අගේ ඇති සටහනක්! හරිම රසවත්. දිගටම ලියන්න අපි කියවනවා.

නිදහස said...

ඔබේ සටහන හරිම අපූරුයි. කරදරයක් නොව නම් ඔබ තුමා ගෙ නම කියනවද ? දිගටම ලියන්න දිගාසිරි

මම said...

කවුරුත් කියන්නේ වත්තෙගෙදර මහත්තයා කියල.

මම said...

මගේ නම එච්. පී. රණතුංග

නිදහස් අදහස් said...

බොහොම ස්තූතියි ඔබ තුමාට

අමල් ඉෂාන්ත said...

දීඝායු....
බොහොම ලස්සනයි. බලාපොරොත්තුවෙන් ඉන්නවා. දිගටම සටහන් තබන්න

චරිත said...

අවු 40 පසුකළ ඇත්තන් බොහෝ දෙනෙක් පරිගණක වලට බිය වෙද්දී ඔබ වැනි අය ඔවුන්ට ආදර්ශයක් වේවි.