Wednesday 29 October 2008

ටෙලි මරණ

ඉස්සර ගමට ටෙලිග්‍රෑම් කාරයකු ආවොත් ඒ අනිවාර්යෙන්ම මරණයක් ගැන පණිවුඩයක්. එහෙම නොවන පණිවුඩයක් එන්න තරම් දෙයක් තිබුණේ නෑ. අපට ටෙලිග්‍රෑම් ආවේ වග තැපැල් කණ්තෝරුවේ සිට. සැතපුම් 15 ක් විතර දුර. ඒ කාලේ දුරකතන පහසුකම් තිබුනේ රේල් පාරවල් දිගේ විතරයි. ඒනිසා රේල්වේ ස්ටේෂන් එකක් ළඟ තියෙන තැපැල් කණ්තෝරුවල තමා ටෙලිග්‍රෑම් කාරයෝ ඉන්නෙ. කාකි නිල ඇඳුමයි, බයිසිකලයයි. ඒවානම් වෙනස් වුණේ අවුරුදු 70-75ක් විතර ගිහින්. හුඟක් වෙලාවට මිනිහම තමා ටෙලිග්‍රෑම් එක කියවල දෙන්නේ. එසේ කියෙව්වත් නැතත් ටෙලිග්‍රෑම් කරුට පනම් හතරක්වත දෙනවා. තියෙනවට නෙමේ. මනුස්සකමට. ඔය පනම් හතර හොයාගන්න හතර අතේ දුවනවා. ඉතින් හතර වටේම දැනගන්නවා ටෙලිග්‍රෑම් එකක් ආව විත්තියත්. අනික බොහෝ විට මරණයක්නේ. එසේ බලාගෙන යනකොට ඒ කාලේ කාගේ හරි නමට ආවට ටෙලිග්‍රෑම් එකක් කියන්නේ ගමටම එන පණිවුඩයක්.

Tuesday 28 October 2008

පාසල් නොගියොත් නඩු

අද ළමයෙක් පාසලකට දාගන්න දඟළන දැඟළිල්ල දැක්කහම හිතෙනවා 'දෙමාපියන් මේ විදිහට ලමයින්ට උගන්නන්න වෙහෙසෙන තරමට අනාගතයේ රටේ සාක්ෂරතාවය 100% පැනල යයි'ද කියල.
මම පාසල් ගිය කාලේ, ඒ කියන්නේ 1930 ගනන්වල තිබුනේ මෙහි අනිත් පැත්ත. එදා වයස 14 වෙනකම් ඒ කියන්නෙ 5 පාස් වෙනතුරු, පාසල් යාම අනිවාර්යයි. (අදත් ලේසියෙන් පාසලක් නුදුන්නට අනිවාර්යයිනේ. කීයට යනකම්ද දන්නවද? දන්න අය කියන්නකො) 'නඩු දාන මහත්තයා' නැත්නම් 'ඇටෙන්ඩන් මහත්තයා' එනවා පාසලට. ඇවිත් නියම වයසට පෙර පාසල් හැරගිය අයගේ විස්තර අරගෙන ගිහින් භාරකරුවන්ට නඩු දානවා. පාසලේ ලොකු මහත්තයටත් වගකීමක් තිබුණා ලමයි පාසට පැමිණීම සම්බන්ධව. ඒ නිසා සෑම විදුහල්පති කෙනෙක්ම පාහේ, යම් ලමයෙකු පාසල් ඒම නතර කළොත් ගෙදරට හොයාගෙන ගිහින් හරි නැවත ගෙන්න ගන්නවා.
පාසල් ගමන ගැන කියූ නිසා තව දෙයක් කියල නවත්වන්නම්.
ඒ කාලේ (1930 පමණ) පාසලට ඇන්දේ දිග ගවුමක්. ගෑණු පිරිමි හැමෝම. හැබැයි පිරිමි ඇන්දහම ඒකට කමිසය කිව්ව. දෙකම එක වගේ. රෙද්දක් දෙකට නමල දෙපැත්තෙන් මැහුම් ගහල, (අපිට මැෂින් තිබුනේ නෑ) කර කපලා, අත් දෙකට කපල. හරි සරලයි. දණහිස් වැහෙන්න දිගයි. ඒ පොඩි ලමයි. ලොකු වෙනකොට පිරිමි ලමයි සරමක් ඇන්ඳ. බැනියමක් තිබුනේ ඉඳලම කෙනෙක්ට. ගැහැණු ලමයි රෙද්දයි හැට්ටෙයි. පොඩි කාලේ ඉඳන්ම ගැහැණු පිරිමි බේදයක් නැතුව අතේ රිදී වලල්ලක් පැළඳුවා.

Sunday 26 October 2008

වැල්වටාරම්

නිණව් නැතුව යන වයසේ පසුවන මාගේ මතකයන් ගොනු කරන මෙම සටහන් පෙළ බොහෝ විට වැල්වටාරමක් වනු ඇත. එකිනෙකට එක පිළිවෙලට සිදුවීම් කිසිවක් දැන් මාගේ නිණව්වේ නොමැත. එබැවින් මතක්වන මතක්වන දේ මතක්වන වේලාවට සටහන් කරමි.
මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා අදවන විට ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළුව ලංකාවේ ප්‍රදේශ රාශියක් ගංවතුරෙන් යටවී ඇති බවට තොරතුරු වාර්තා වේ. 1930 ගනන්වල ගැලූ මහා ගංවතුරකින් අපේ ගමේ ප්‍රදේශ රාශියක් යටවිය. දැන් ඉතා විරල වුවද ඒ දිනවල හීලෑ ඇත්තු ලංකාව පුරාම යමක් කමක් තිබෙන පුද්ගලයින් සතුව සිටියහ. අපේ ගමේ විසූ 'මිණින්දෝරු මහප්පාගේ ඇතින්න', 'කිරියා' ඇත්ගොව්වාගෙන් මිදී මෙම ගංවතුරට පැන ඉතා වේගයෙන් ඈතට පීනන්න පටන් ගත්තේය. මෙය දුටු මිණින්දෝරු මහප්පා 'කිරියෝ මෙන්න මට ගහනවෝ' කියා කෑසනවිට ආපසු හැරුණු ඇතින්න ඉතා වේගයෙන් පීනාගෙන ආ ආකාරය මට අදටත් අමතක නොවේ. ඇසිපිය ගසන ක්ෂණයෙන් මිණින්දෝරු මහප්පා වෙත පැමිණි ඇතින්න ඔහුව හොඬින් ගෙන පිටේ තබා ගත්තේය.
1947 දී ඊටත් වඩා ගංවතුරකින්, කිසිදා යට නොවූ ප්‍රදේශ (මෙ වන තුරුත් යට නොවූ) රාශියක් යටවී ගියේය.
වැස්ස තුරල්වන තුරු මෝටර් සයිකලයට ගොඩවී බලා සිටින පුත්‍රයා දකිද්දී අප පළමුවෙන්ම දුටු මෝටර් සයිකලය මගේ නිණව්වට ආවේය.
ඒත් 1930 ගනන්වලය. අදමෙන් වාහන ගමනාගමනයක් නොතිබුණු ඒ දවස්වල ඉතා ඈත එම මෝටර් සයිකලය එනවිට හොඳන් හඳුනාගත හැකිය. ඒ හඬ ඇසෙන විට අමේ අම්මලා කියන්නේ "අන්න කුණු ඉනිස්පැට්ටර් එනවා" කියාය. "සැන්ඩිපෝට් මහත්තයා" ලෙස හැඳින් වූ මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (අද භාවිත නාමය) නිරතුරු පැමිණ නිවාස අවට පිරිසිදුතාව පිළබඳව සොයා බැලුවේය. මඩපුවක් මුට්ටි ආදිය දුටුවහොත් ඒවාට බස්තමෙන් ඇන ඒවා සිදුරු කර දැම්මේ මදුරුවන් බෝවන ස්ථානයක් බැවිනි. නිවසේ භාවිතයට වැසිකිලියක් නොමැති වුවහොත් ගම්සභා උසාවියේ නඩු දමන ලදී.